April 20, 2024

ප්‍රථම වරට කුලියාපිටිය මූලික රෝහලේ කළ කොබ්ලේෂන් ශල්‍යකර්මය අති සාර්ථකයි

අසාත්මිකතා සහ ස්වරාලයේ සැත්කම්, උගුරේ ඇතිවන තත්ත්ව ඇතුළු සියලුම උගුර, කන, නාසය සම්බන්ධ සැත්කම් රුධිර වාහනයකින් හා වේදනාවෙන් තොරව සිදු කිරීමේ කොබ්ලේෂන් නැමැති ශල්‍යකර්මය ප්‍රථම වරට කුලියාපිටිය මූලික රෝහලේ අති සාර්ථකව සිදු කිරීමට හැකි වූ බව  උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් පවසයි.

ඊයේ (12) එම සැත්කමට මුහුණ දුන්නේ වයස අවුරුදු 7ක් හා 12ක් වූ දරුවන් දෙදෙනෙකි.

කොළඹින් පිට පළාතකදී අදාළ සැත්කම කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඔහු පෙන්වා දෙන්නේ සාමාන්‍ය සැත්කමකදී රෝගියාගේ රුධිර වහනය බහුල වුවත් මෙම ක්‍රමය මඟින් කිසිදු වේදනාවකින් තොරව රුධිරවහනය අවම මට්ටමේ පවත්වා ගනිමින් සැත්කම සිදු කිරීමට හැකි බවයි.

සැත්කමෙන් පසුව සාමාන්‍ය පරිදි රෝගියාට කෑම බීම ආදී එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතුවල නිරත වීමටද හැකියාවක් ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

පැරණි ක්‍රමයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 90ක පමණ වුවත් මෙම ක්‍රමයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට අඩු වීම හේතුවෙන් රෝගියාට කිසිදු අතුරු අබාධයක් ඇති නොවන බවද සඳහන් වේ.

රෝගීන්ගේ උගුර වැනි ස්ථානයක සැත්කමකට බිය වූවත් රුධිර වහනයෙන් හා වේදනාවෙන් තොරව වාෂ්පියකරණය සමගින් සිදු කරනු ලබන මෙම සැත්කමට කිසිදු බියක් ඇතිකර ගත යුතු නොවන අතර මෙවැනි රෝග සඟවාගෙන නොසිට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

Rate this item
(0 votes)