April 24, 2024

රග්බි පුහුණුවීම් අතරතුර සිසුවෙකු ඇඳ වැටී මියයයි

මහනුවර ත්‍රිත්ව විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ දක්ෂ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු පුහුණු වීම් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිහසුන්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) පස්වරුවේ මියගොස් තිබේ.

ක්‍රීඩා පුහුණුව සඳහා මහනුවර ත්‍රිත්ව විදුහලේ සිට පල්ලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගණය දක්වා ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා කිලෝ මීටර් 12ක පමණ දුර ප්‍රධාන මාර්ගයේ දුවමින් සිටියදී කුණ්ඩසාලේ පල්ලේකැලේ ප්‍රදේශයේදී ඊයේ (01) උදෑසන 10.30ට පමණ සිසුවා හදිසියේ සිහසුන්ව ඇඳ වැටී තිබෙන අතර මහනුවර රෝහලට ඇතුළත් කර පැය හතරකට පමණ පසු ඔහු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මෙසේ මියගොස් ඇත්තේ මහනුවර බෝවලවත්ත ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි භාතිය ඒකනායක නැමැති 18 හැවිරිදි සිසුවෙකි.සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ හා මහනුවර පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) පැවැත්විණි.

(කමල් සුරවීර)

Rate this item
(0 votes)