April 20, 2024

රිය අනතුරක් සිදුවී තුවාල ලබා සිටි කාන්තාවක් විනාඩි දෙකක් ඇතුළත එම ස්ථානයේදීම තවත් රිය අනතුරකින් මියයයි

September 07, 2017

දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී  ඊයේ (6) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා එක් කාන්තාවක් මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල බුලාගලදී පදිංචි ශියානි මංගලිකා (50) එක් දරු මවකි. මියගිය කාන්තාව සිය සහෝදරිය සමඟ බුලගල ප්‍රදේශයට පැමිණ ඇත්තේ දඹුල්ල නගරයේ පුද්ගලික රෙදිපිලි අලෙවිසැලක සේවය කරන සිය දියණිය නිවසට කැඳවාගෙන ඒම සඳහායි.

දියණියත් දියණියගේ යහළුවකුත් බස් රථයෙන් බැසීමෙන් පසු නිවසට කැඳවාගෙන යෑම සඳහා මාර්ගය හරහා මාරුවෙද්දී යතුරු පැදියක් වේගයෙන් පැමිණ මෙම කාන්තාව ඇතුළු පිරිස ගැටී තිබේ.එහිදී මියගිය කාන්තාව ප්‍රධාන මාර්ගය මැද වැටී සිටියදී ඒ අසල පිහිටි වෙළෙඳ සැලක හිමිකරු සහ මියගිය කාන්තාවගේ සහෝදරිය කාන්තාව එසවීමට සූදානම් වෙද්දී එක වරම දඹුල්ල දෙසින් වේගයෙන් ධාවනය වූ ජිප් රථයක් මෙම පිරිස ද යටකරගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටු මියගිය කාන්තාවගේ දියණිය වූ ඩබ්ලිව්. ජී .ඉරේෂා පියුමාලි සඳහන් කළාය.

පෙර අනතුරින් තුවාල වී සිටී කාන්තාව විනාඩි 3 ඇතුලත දෙවැනි අනතුරින් ජීවිතක්ෂයට පත්වූ බව ඔවුහු කියති. ජිප් රථයේ ගැටුනු මියගිය කාන්තාවගේ සහෝදරිය වූ එච්.එස් . අයිරාංගනී සහ වෙළඳ සැල් හිමිකරු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටී. පෙර අනතුරේ යතුරුපැදිකරු ද සුළු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

අනතුර සිදුකළ රියදුරු කියා සිටියේ තමන්ට ඉදිරිපසින් තවත් වාහනයක් ඉදිරිපස ලාම්පු දල්වාගෙන පැමිණීමත් සමග තමන්ට මාර්ගයේ ඉදිරිය නොපෙනුණු බවයි.කෙසේ වෙතත් රියදුරු දඹුල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර තවත් ඛේදවාචකයක් වන්නේ මියගිය කාන්තාව විදේශගත වී මෙරටට පැමිණ සතියක් තුළ සිය සැමියා බරපතළ වකුගඩු රෝගයෙන් මියගොස් ලබන දොළොස් වැනි දාට මාස තුනක් ගතවීමය.සිය සැමියාගේ තුන් මාසයේ පිංකම සූදානම් කරමින් සිටියදී ඇය මිය ගිය බවත් එම පවුලේ එකම දියණිය මේ අනතුරත් සමග තනි වීමය. මෙම රිය අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර අනතුරට පත් ජීප් රථය අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් කළමනාකරුවෙකු විසින් භාවිතා කරන බවත් අනතුර සිදුවන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති බව පොලිසිය කියයි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(1 Vote)