April 20, 2024

ඇල්කඩුවට ධන උල්පතක් වූ සෙම්බුවත්ත ජල උල්පත

September 04, 2017

‘මැණිකෙ අගය කණා දන්නෙ නැහැ - නමුත් අගය බාල වෙන්නෙ නැහැ’

රූකාන්ත ගුණතිලක ගයන අපූරු ගීතයක මේ වචන ටික මගෙ හිතට පැන්නා.ඒ,කාලයක් ඇස් අඳ අයගේ පයේ හැපි හැපි තිබුණු මැණිකක් හඳුනා ගනිමින් නොනැවතී,එහි අගය දිනෙන් දින කපා ඔප මට්ටම් කරමින් තිබෙන සෙබ්බුවත්ත වැව් ඉස්මත්තෙදි.

කොච්චර ඇහි පිය ගැහැව්වත් මේක හරියට හීනයක් වගේ.අවුරුද්දකට ඉස්සර නිසලව ගස් වට කොට තිබුණු වැව පුංචි හුළං පාරවල්වලට නඟන රැලි සද්දෙ... මේ ඇරෙන්න පරිසරය බොහොම නිහඩව හීලෑව තිබුණා.නමුත් අද ........... පොඩි ලොකු හැමෝගෙම හිත්වලින් පිටාර ගලන තෘප්තිමත් බවින් සංතෘප්ත හිනාවන්ගෙන් පරිසරය පිරිලා.

කිසිම හානියක් නොවුණු ගහ කොළ හරියට තමන්ගෙ පෞර්ෂය බලන්න එන දහස් සංඛ්‍යාත පිරිසගේ සතුටින් ආඩම්බරයට පත් වෙලා, කඳවල් සෘජුවම තබා ගෙන හෙමින් දෙපසට වැනෙන්නෙ සම්මානනීය සොල්දාදුවෙක් වගෙ.ඒත් මේක ඒ පරිසරය එක්ක ජීවත්වෙන කෙනෙක්ට කරදරයක් වෙන්න බැරිද?

‘කරච්චලේ නේද?’

මම ඒ නිසාම සෙම්බුවත්තේම මැදි වියේ මිනිසෙකුගේ කණේ මගේ වචන එබුවා.

‘මහත්තයා ආණ්ඩුවට විරුද්ධ කෙනෙක් නේද?’

පිළිතුර හැටියට ආවෙ ප්‍රශ්නයට කිසිසේත් අදාළ නොවන පිළිතුරක් ප්‍රශ්නයක් හැටියට.ඒක හිතට මුලින් ආපු ප්‍රශ්නයට වඩා විශාල ප්‍රශ්නයක්.

‘මෙතන ඉන්න මිනිස්සු හැමෝම සතුටින් ඉන්නෙ.අපේ ගෙවල්වල මිනිස්සුත් වෙනදට වඩා සතුටින් ඉන්නෙ.’

වත්තෙ හැදෙන එළවළුවක්,පළතුරක් තමන්ගේ පාමුලටම ඇවිත් මුදල් කර අරං යන පිරිසක් වගේම අද වටේ ගොඩ දෙනෙක් සෙම්බුවත්ත

තරණයට පිණිස ත්‍රීවීල් රථ යොදා ගනිමින් යම් ආදායමක් උපයන අයුරු හේ පෙන්වා දෙන්නේය.

කේබල් මඟින් උඩින් යන ත්‍රාසජනක ක්‍රීඩාවේද,හංස බෝට්ටුව ඇතුළු බෝට්ටුවල ද සේවය කරන්නේ ඒ ඒ ආයතනවලින් පුහුණුව ලැබූ සෙම්බුවත්තේ තරුණයෝය.වත්තෙ දළු කඩන්නට සහ සෙරඩි ගාන්නට සිමා වූ ඔවුන්ගේ ජීවතවලට අලුත් බලාපොරෙත්තුවක් එකතු වී තිබීමම අපූරුය.

“මේක මිලයන ගණන් පාඩුවට දුවපු වත්තක්.මට මේක ගොඩගන්න දුන්න අභියෝගය තනියෙන් ජයගන්න බැහැ.විශේෂයෙන් විශයභාර කබීර් හෂීම් අමාත්‍යවරයා නිරන්තරයෙන්ම තමන්ගෙ ක්‍රියයාවලිය තුළ හොයන්නෙ අලුත් දේවල්,ඔහු නිතරම කියන්නෙ ‘අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී කියලයි.ඊට සමානම පුද්ගලයෙක් හැටියට වර්ථමාන ඇල්කඩුව වැවිලි සමාගමේ නිලූ විජේදාස මහතාට ඕනි මේ වතු ලාභ ලබන ආයතන බවට පත් කරන්නයි එහි සේවකයන්ගෙ අනාගතය යහපත් පැත්තට වෙනස් කරන්නයි.එහෙම පදනමක පිහිටි නායකත්වයක් එක්ක මේ දේ කරන්න පහසුයි’’

සෙම්බුවත්ත වැවේ අලුත් වැඩ සටහනට නායකත්වය දෙන ජ්‍යෙෂ්ඨ වතු අධිකාරි රැඩ්ලි දිසාගේ අඳහස එබඳුයි.

‘වැඩ කරන මනුස්සයගෙන් ඒ වැඩේ සාර්ථක වෙන්න තව මොනවද ඕනි කියල අහන කෙනෙක් උඩින් ඉන්න එක තමයි සාර්ථකත්වයේ ප්‍රධානම සාධකය.’අමාත්‍යවරයාට මෙන්ම සභාපතිවරයා,සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඇල්කඩුව සමාගමේ ඉහළ පරිපාලනයටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ පරිපාලනයේ සියල්ලටත් ගෞරවය ලබා දෙමින් රැඩ්ලි සිය තුති පිඳුම හමාර කළේය.

රැඩ්ලි හා බැදුණු සෙම්බුවත්තේ අන්දරය ඊටත් දිගුය.සුදු අධිරාජ්‍යාදීන්ගේ පාලන සමයේ මේ බිම අවට ඔවුන් යෙදා ගෙන ඇත්තේ පෝලෝ ක්‍රීඩාවටය.අනතුරුව පහතින් ඇති තේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට මෙහි ජලය යොදා ගෙන තිබේ.අද ද මෙහි විනෝද උයන අතරේම මෙහි සේවකයන් වෙසෙන හපුවිද කොටසට විදුලි බලය උත්පාදනය වන්නේ ද සෙම්බුවත්ත වැවෙන්ය.එය 2005 දී පමණ රැඩ්ලි ගේ අදහසකට අනුව ඇරඹි ව්‍යාපෘතියකි.ඒ නිසාම රැඩ්ලිගේ නායකත්වයට මඟ පෙන්වීමට අවනතව මේ බිමට ආදරය කරමින් ජීවිකාව කරගෙන යාමට ලැබුණු ආශිර්වාදයත් එක්ක ඒකාත්මිකව වැඩ කරන්නට බැදුණු විශාල පිරිසකි.

‘සර් එහාට අරං ගියාට කමක් නැහැ කොළේ මේකටම ගෙනත් දාන්න’අයිස්ක්‍රීම් වෙළෙන්දා සිය පාරිභෝගිකයාට අණ කරනු දැක මා ඒ පිළිබඳව විමසීය.

‘අපි හම්බකරන් කන තැනනෙ ස්ර්’

වෙළෙන්දාගේ කතාවෙන් අනතුරුව මම වටපිට බැලිමි.වැව වටේ ඇවිද්දෙමි.පරිසරයට හානි කරන හෝ අවලස්සන කරන කිසිවක් එහි නැත.දහස් ගණනක් මිනිසුන් ගැවසෙන ඒ බිමේ වපුරා ඇති හැඟීම අපූරුය.

සර් අපේ ළමයින්ට පොතේ පතේ අඩු පාඩුවක් නැතිව දැන් ඉස්කෝලෙ යන්න පුළුවන් වෙලා තියෙනවා.භෞතික වශයෙන් සාර්ථක වන්නට වන්නට පවුලේ දරුවාගේ නුවණැස පෑදීමට නොහැකි සේ ඉදි වී ඇති ප්‍රාකාරද එකින් එක සිඳ පෙරට යන්නට ඔවුන්ට ලැබෙන ශක්තියේ හෙට දවස භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් දියුණු පුරවැසියෙක්ය.

‘මගේ අදහස මේ කෑමබීම හැම තැනම නැතුව එකතැනෙකට ගේන එක.එතකොට ඒක ක්‍රමවේදයකට පාලනය කරගෙන,පරිසරයට සුළු හානියක්වත් නොවෙන විදිහකට හසුරුවන්න පුළුවන්.ඒ නිසා මේ සංකල්පයට හානියක් නොවෙන පෙණුමකට අපි කඩ පෙළක් හදලා අපේ වත්තෙ සේවකයන්ට ඒවා ලබා දෙන්න හිතාගෙන ඉන්නවා.ඒ අතරම මෙහි එන විදේශීය සංචාරකයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා.ඔවුන් මෙහි ලොකු වෙලාවක් රැදී ඉන්න කැමති නිසා ඉදිරියේදි අපි ඒ අයගෙ රුචිඅරුචි කෑමබීම ගැනත් හිතන්න ඕනි.’

රැඩ්ලිගේ අදහස වඩාත් විධිමත්,සුළු හෝ හානියක් පරිසරයට සිදු නොවන තැනෙකට සියල්ල අධීක්ෂණයට යටත්වන පහසු තැනෙකට ගෙන ඒමය.මිලියන ගණනක් පාඩු ලැබූ මහා භාණ්ඩාගාරය දෙසට කට හරවා තිබූ පිං කැටයක් වූ ඇල්කඩුව වැවිලි සමාගම මේ සාර්ථකත්වයත් සමඟ මහා භාණ්ඩාගාරය ලාභයෙන් පුරවන රාජ්‍ය ආයතනයක් වනු ඇත.එපමණක් නොව තේ පලදාවේ පෝෂණයට බලපාන පොහොර බිඳක් මේ වතුවල තේ මුල් සිපගෙන නැති දශක ගණනක කාලකන්නි ඉතිහාසය ඉවත් වී ඒවා පොහොර වැටී නව ජවයකින් හිස එසැවී රටේ ආර්ථිකයට ශක්තියක් වන පලදාව ලබා දෙනු ඇත.

දැනටද සෙම්බුවත්ත වැවේ අසිරිය විඳ පල්ලම් බසින සියල්ලෝම මුමුණන ‘මරු වැඩක්’ වචනය හෙට දවසේ එම විනෝදාස්වාදයට පමණක් සීමා නොවනු ඇත.වසර සිය ගණනක් මේ වතුවලට දහදිය මුසු කළ පරම්පරාවන්හී හෙට දවස වඩාත් යහපත් ආකාරයක විසඳුම්වලින් ශක්තිමත් කරන රටටම ආශිර්වාදයක් වන ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ක්‍රියාවලියක ආලෝකයෙන් බැබලෙන ‘මරු වැඩක්’ වෙනු නිසැකය.

නමුත් එහි විනෝදාස්වාදය සොයා යන සියල්ලම එහි පනවා ඇති සීමාවන්ට අවනතව කටයුතු කළ යුතුය.අඩි 30 ට වඩා ගැඹුරු වැව් දිය කඳ මත සහ ඒ අවට විනෝදවන්නට පනවා තිබෙන පහසුකම්වලින් පමණක් සැනසිය යුතුය.මත්පැනින් තොරව එහි පැමිණෙන ලෙස කර තිබෙන ඉල්ලීම නිරන්තරයෙන් පිළිපැදිය යුතුය.නැතිනම් මේ මරු වැඩේ,මරුට වැඩක් වී නැති වුවහොත් ඔබේ විනෝදාස්වාදයට නොව,මේ රට සංවර්ධනයට ධනය සපයන ව්‍යාපෘතියකට ද ‘මරු පහරක්’ විය හැකිය.

නිශ්මං රණසිංහ

Rate this item
(0 votes)
Last modified on Monday, 04 September 2017 14:51