March 28, 2024

කුණුවලින් ගඩොල් හදන සුසන්ත (PHOTOS)

ඉකුත් දිනවල ජනමාධ්‍ය මඟින් අවධානය යොමු කළ ගොංගිතොට සුසන්ත අමරසිංහ මහතා කසල යොදා ගෙන කරනු ලබන ගඩොල් නිෂ්පාදනයේ කාලීන ජාතික වැදගත්කම සලකා ඒ මහතාගේ නිෂ්පාදන කාර්යය රටට ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් කිරීම පිළිබඳව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න මහතාට ද ඒ පිළිබඳව සොයා බලන්නට අමාත්‍යවරයා යෝජනා ඉදිරිපත් කර ඇති අතර අමාත්‍යවරයාගේ මඟපෙන්වීම මත අලුත් ඵලදායි ව්‍යාපෘති ගණනාවකටම මුල පුරන්නට සමත් වි ඇත.

ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ ප්‍රවර්ධන අංශයේ ක්‍රිශාන්ත පයාගල මහතා සහ කබීර් හෂිම් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිශ්මං රණසිංහ යන මහත්වරු සුසන්ත අමරසිංහ මහතා කසලවලින් කරනු ලබන නිර්මාණ පිළිබඳව සොයා බැලීමට ඊයේ (29) ඒ මහතාගේ නිවසට ගියේය.

එහිදී කසවලින් සිදු කරනු ලබන ගඩොල්වලට අමතරව මාර්ග කාපට් කිරීමට සුදුසු පරිදි සකසන ලද මිශ්‍රණයක්,ටයිල් වර්ගයක් සහ නුවරඑළියට විශේෂිත වූ වෙනත් ප්‍රදේශ සඳහා පොදු වූ ලෙස සකසන ලද ගඩොල් වර්ග දෙකක් ද සුසන්ත අමරසිංහ මහතා විසින් ඒ මහතුන්ගේ අවධානයට යොමු කළේය.

එසේම වීදුරු කටුවල සිට ඉවතලන ආහාර දක්වාත්,ගස්වල කොළ දක්වාත් ලෙස ඉවතලන කසල ඔහු නිෂ්පාදනයට සුදුසු පරිදි සකසා ගන්නා ආකාරයද එහිදී දැක ගන්නට ලැබිණ.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනවසර නිවසක ප්‍රවේශ මාර්ග රහිතව රැදී සිටින සුසන්ත මහතා වසර දහයක පමණ කාලයක් කසලවලින් කරනු ලබන නිෂ්පාදන එකොළහක් සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කර ඒ සඳහා අදාළ පේටන්ට් බලපත්‍ර පවා ලබා ගෙන ඇත.

හිටපු හමුදා සෙබලෙක් වන ඒ මහතාට සිය නිෂ්පාදන සිදු කරගෙන යාමට තබා දරු තිදෙනා සහ බිරිඳ සමඟ ජීවිත්වීමට ද තමන්ගේ කියා බිම් අඟලක් නොතිබියදී ඔහුට මෙම නිෂ්පාදන වෙනුවෙන් ලැබෙන කෝටි ගණනක ලංසු නොසළකා හරිමින් තමන්ටද හිමිකමක් ලැබෙන සේ රජය සමඟ එක් වී මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සිහින දකියි.

වාහනවල ඉදිරිපස,පසුපස සහ පැති වීදුරුද ඇතුළුව,සමාජයට අහිතකර යැයි සැළකෙන බොහෝ දේ ද මේ නිෂ්පාදන සඳහා යොදා ගන්නා බවත් ඇතැම් කටයුතුවලදී ශාක සාර යොදා ගෙන තමන්ම යම් යම් රසායනික ද්‍රව්‍ය සකස් කර ගන්නා බවත් මෙහිදී සුසන්ත මහතා නිරීක්ෂණ කණ්ඩායම්වලට අවබෝධ කර දෙනු ලැබීය.

එවැනි නිෂ්පාදන ක්‍රියාවලියක් රට පුරා ප්‍රචලිත කරමින් පරිසරයට හානි කර කසල කළමණාකරණය ජනතාවට ආදායමක් ලැබෙන දෙයක් කළ හැකි නම් තමා යුද සෙබලෙක් ලෙස රටට කළ සේවයටත් වඩා සේවයක් කළ අයෙක් ලෙස ජීවිතය පුරාම සතුටෙන් සිටිය හැකි බවද සුසන්ත මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම වාතාවරණය අනුව සුසන්ත මහතාගේ නිෂ්පාදන වෙළදපොළට රැගෙන ඒමට ද එම නිෂ්පාදන සිදුකර ගෙන යාමට බලපා තිබෙන භෞතික ප්‍රශ්න නිරාකරණය කර දීමට මැදිහත් විය හැකි ආකාරය පිළිබඳවද සුසන්ත අමරසිංහ මහතාගේ දැනුම ජාතික තලයට ගෙනවිත් කසලවලින් සිදු කරන නිෂ්පාදන හරහා රටට බලපාන කසල ප්‍රශ්නය අවම කිරීමට අවශ්‍ය පිළියම් සොයා බැලීමට ද කබීර් හෂීම් අමාත්‍යවරයා අවශ්‍යය පිළියම් සෙවීම සඳහා තවත් අමාත්‍යංශ ගණනාවක් භාර අමාත්‍යවරුන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරනු ඇතැයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම කටයුතු කෙරෙහි මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය සංවර්ධන බැංකුව අවශ්‍යය සුදුසු පියවර හා අමාත්‍යවරයාගේ උපදෙස් සහ සුසන්ත මහතාගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ගනු ලබනු ඇති බවට විශ්වාසය පළ කළ මාධ්‍ය ලේකම්වරයා අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ එහි සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ගමේ සංවර්ධනයේ සහ පොඩි මිනිහාගේ අනාගත අභිවෘද්ධියේ සමීපතම සඟයා කිරීම වෙනුවෙන් ගෙන යනු ලබන වැඩසටහන් අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට සහ ගෞරවයට ලක් වී ඇති බව ද පෙන්වා දුන්නේය.

 කසල නිසි පරිදි බැහැර නොකිරීම ද එය ප්‍රයෝජනවත් ආකාරයට භාවිතයට නොගැනීම නිසා ද රට ඉදිරියේ විශාල අභියෝග ගණනාවක් මතු වී තිබෙන බව අමාත්‍යවරයාගේ පමණක් නොව සමස්ත රජයේම අවධානය යොමු ව ඇති කාරණයක් බව මෙහිදී පැහැදිළි කළ මාධ්‍ය ලේකම් නිශ්මං රණසිංහ මහතා මේ නිසා සුසන්ත මහතාගේ නිෂ්පාදන සඳහා නිසි ඇගයීමක් ලබා දෙමින් ඒවා ජාතික ගැටළුවක් විසදීම කෙරෙහි දක්වන නැඹුරුතාවය සමස්ත රජයේම අවධානයට ලක් කිරීමට කබීර් හෂීම් අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

එසේම මෙම ක්‍රියාවලිය ජාතික වටිනාකමක් සහිත ක්‍රියාවලියක් බැවින් ඔහුගේ නිෂ්පාදන කටයුතු ශක්තිමත් කිරීමට හවුල් වීමට ආයතනවලට මෙන්ම ත්‍යාගශීලී පිරිස්වලට ද ඉදිරිපත් විය හැකි නම් එය අගය කළ යුතු බව පැවසූ නිශ්මං රණසිංහ මහතා සුසන්ත මහතාගේ නිර්මාණ ඔහුට ඔහුගේ ජීවිතය තරම් වටිනා දෙයක් බැවින් ඔහුගෙන් එම නිර්මාණ අයිතිය මුදලට උදුරා ගෙන ඔහුගේ අයිතිය එයින් ඉවත් කිරීමට ඇතැම් පිරිස් දරන උත්සාහය බැහැර කළ යුතු බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 August 2017 11:22