March 29, 2024

වන අලින් නිසා නොනිදා රැය පහන් කරන මිනිසුන් (PHOTOS)

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේවහුව, වැටකොළුවැව, මීගස්වැව, මකුළුගස්වැව, හතේ කනුව, දඬුබැඳිරුප්ප ආදී ගම්මාන කිහිපයකම ජනතාව වන අලින් නිසා දැඩි පීඩාවකට පත්ව සිටිති.

මේ දිනවල ගම්මානවලට කඩා පනින වන අලි රංචුවක් නිසා මෙම ජනතාවගේ වගා බිම් වන අලින්ගේ ගොදුරු බවට පත්ව තිබේ.දිවා කාලයේ ගොවිතැන්වලට මහන්සිවන මෙම ගම්වැසියන් රාත්‍රී කාලයේ පැල් තනාගෙන රැය පහන් කරනු ලබන්නේ නිදිවර්ජිතවය.ඒ තම භව භෝග වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමටය.

වැටකොළු වැව ප්‍රදේශයේ ගොවීන් බහුතරයක් වට්ටක්කා, බටානා,තක්කාලි වගා කරති.මේ දිනවල අස්වැන්න නෙලීමට ආසන්නව තිබියදී තම අස්වනු එක රැයකින් වන අලින්ගේ ආහාර බවට පත්ව තිබෙන බව ගොවීහු පෙන්වා දෙති.මෙහි එක් කාන්තාවක කියාසිටියේ අක්කර දෙකහමාරක අස්වනු නෙලීමට ආසන්න ව තිබූ වට්ටක්කා වගාව සම්පූර්ණයෙන්ම වන අලින්ගේ ආහාර බවට පත්වූ බවය.

රාත්‍රී කාලයේ නිවෙස්වලින් පිටව යන ගොවි මහත්වරුන් රැය පහන් කරනු ලබන්නේ හුළු අතු දල්වා ගෙන ගිනිමැල දල්වාගෙන කුඩාවට තැනූ වාඩි තුළය. රාත්‍රී කාලයේ වන අලින් ගමට පනින බවත් භව භෝග විනාශ කරන බවත් ගොවි ජනතාව කියති.මෙම ගොවීන් තම අස්වැන්න බේරා ගැනීම සඳහා දිනපතාම දිවා රාත්‍රි දැඩි වෙහෙසක් දරති.රාත්‍රී කාලයේ පාළුව කාන්සිය මකා ගැනිම සදහා නිදි වර්ජිතව සිටිම සඳහා පැල් කවි කීම ද එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකි වී ඇත.

මෙම ප්‍රදේශයේ වන අලින් රංචු හතරක් පමණ සිටින බවත් වරින්වර කඩින් කඩ මෙම අලි ගම් වදින බව ඔවුහු පෙන්වා දෙති .මෙම ගම්මානවල අනාරක්ෂිත භාවය පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැතැයි ඔවුහු පවසති.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයා පසුගිය දිනවල මෙම ගම්මානයට පැමිණ ගොවීන් සමඟ රැය පහන් කළ බවත් ඒ අවස්ථාවේදීත් අලි රන්චුවක් ගම්මානයට කඩා වැදුණු බව ගොවීහු කියති.ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ ග්‍රාම නිලධාරීවරයාගේ නිරන්තර අවධානය මෙම ගම්මානයට ලැබුණද ඉහළ නිලධාරීන්ගේ බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීම නිසා අඩුම තරමේ වගා වන්දියක් හෝ මෙතෙක් නො ලැබී ඇති බව පෙන්වා දෙති.

මාතලේ දිස්ත්‍රික්කයේ නොනිදන ගම්මාන කිහිපයක්ම පවතින බවත් ඒ අතරින් මකුළුගස්වැව වැටකොළු වැව ගම්මානවල ජනතාව ප්‍රමුඛස්ථානය පසුවන බව ඔවුහු පෙන්වා දෙති. වැටකොළුවැව  ගම්මානය දිස්ත්‍රික්ක මායිම්ව පැවතීම නිසා මේ තත්ත්වය උදාවී තිබෙන බවත් ගම්මුන් කියති.මේ ගම්මානවල ජීවත්වන ජනතාව පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු වී තම භව භෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර දෙන්නැයි ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)