April 18, 2024

බීමතින් පැමිණි සැමියා බිරිඳට පිහියෙන් ඇණ පලායයි

අධික ලෙස මත්පැන් පානය කර වෙරි මතින් ඊයේ (27) රාත්‍රියේ නිවසට පැමිණි බිරිඳ සමඟ ඇති කර ගත් ගැටුමකින් පසු අමානුෂික ලෙසින් ඇයගේ පපුවට උල් ආයුධයකින් ඇණ ඝාතනය කර පලා ගිය ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ පල්ලම යෝධයා කැලේ ඉබිබන්වලයායේ විසූ එස්.ඩි.හේමලතා නැමැති 46 හැවිරිදි සිව් දරු මවකි.

කලක් පුරාවට හලාවත මයික්කුලම අසරප්පාවත්තේ ජීවත් වී ඇති මියගිය කාන්තාව හා ඇගේ ස්වාමිපුරුෂයා පසුව පල්ලම යෝධයා කැලේ ඉබිබන්වල යායේ පදිංචියට පැමිණ ඇති බවත් මියගිය කාන්තාවගේ සැමියා අධික ලෙස මතට පුරුදු වූ අයෙකු බවත් පොලීසිය පවසයි.

ඔහු දිනපතා අධික ලෙස මත්වී නිවසට පැමිණ සිය බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගනිමින් ඇයට අමානුෂිකව පහර දෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්ම මියගිය කාන්තාව විසින් පල්ලම පොලීසියට කර ඇති අතර පසුව පොලීසිය දෙදෙනාව පොලීසියට ගෙන්වා අවවාද කර සමාදාන කර යවා ඇත.

මෙම ආරවුලට හේතුව වී ඇත්තේ තම බිරිඳ වෙනත් පුරුෂයෙකු හා අනියම් සම්බන්ධයක් ඇති කර ගත් සැකයක් මුල් කර ගනිමින් ඇති වුවක් බවත් වෙරි මතින් ඒ ගැන ප්‍රශ්න කරමින් ඔහු බිරිදට පහර දීමත්ය.

බිරිඳ සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති අතර ඇයගේ මෘත ශරීරය මේ වන විට පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් ඇත.

මේ අතර අද උදෑසන ලැබී ඇති තොරතුරක් අනුව සැකකාර සැමියා මෙම ඝාතනයෙන් පසු තමා වස පානය කර සියදිවි නසා ගන්නා බව කියමින් නිවසින් පිටව ගොස් ඇති අතර තවම ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 July 2017 09:56