March 29, 2024

දූරියන් ගහේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනේ පැටලී දෙදරු පියා මරුට (VIDEO)

පොල්පිටිය හිටිගේ ගම බුලත්වත්ත ප්‍රදේශයේ අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මියගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයි.කුලරත්න නැමැති හැටතුන් හැවිරිදි දෙදරු පියෙකි.

අද (27) උදෑසන 6.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.නිවසට ජලය නොමැති නිසා නිවසට ජලය සපයන ජලනල පද්ධතිය පරීක්ෂා කිරීමට ගිය තම සැමියා ආපසු නිවසට නොපැමිණි නිසා ඒ පිළිබඳව සොයා බැලීමට බිරිඳ ඇතුළු ප්‍රදේශවාසීන් ගිය අවස්ථාවේ මරණකරු විදුලි රැහැනක පැටලී මියගොස් සිටි බව ප්‍රදේශවාසීන් පවසයි.

ගසෙන් ඉදී බිමට වැටෙන දූරියන් ගෙඩි කිසියම් පිරිසක් සොරා ගන්නා නිසා එය ආරක්ෂා කර ගැනීමට එම දූරියන් වත්ත හිමිකරු විසින් අසල තිබෙන නිවසකින් විදුලි රැහැනකින් අනවසරයෙන් විදුලිය ඇද තිබූ බව පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

මෙම අනවසර විදුලි රැහැන ඇඳ තිබූ දූරියන් වත්තේ හිමිකරුව අත්අඩංගුවට ගැනීමට ගිනිගත්හේන පොලීසිය කටයුතු කර තිබේ.මෙම අනතුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එස්.සරවරාජා මහතා පැවැත්වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ගිනිගත්හේන පොලිසියට නියෝග කර ඇත්තේ මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

 (හැටන් රංජිත්)

Rate this item
(0 votes)