April 20, 2024

මොරටුව සරසවියේ "බල්ලෝ මැරූ" කතාවේ ඇත්ත නැත්ත

මොරටුව විශ්ව විද්‍යාල භූමියේ සිටි සුනඛයින් මරා දමන බවට වූ දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලයට එක්කර තිබේ.

කොළඹ අයාලේ යන සුනඛයින් නෙරපා හැරීම වෙනුවෙන් රජය රහසිගතව සතුන් මරා දමන බවට සමාජ ජාල වෙබ් අඩවි කිහිප වතාවක් මෙම දර්ශන වාර්තා කරමින් පවසා ඇත.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ සිටි සුනඛයින්ට ද එන්නතක් ශරීරගත කිරීමෙන් පසු මිය යන බවට එම රූප රාමුවලින් අනාවරණය විය.

කෙසේවෙතත් ඉන් අනතුරුව එලෙස මරා දමන සතුන් හෝමාගම ප්‍රදේශයේ පිහිටි එම විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක රහසිගතව වළලා දමන බව ද ඊයේ (17) වාර්තා වී තිබිණි.

සුනඛයින් ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා එන්නතක් ලබා දී ඇති අතර ඉන් සුනඛයින් දෙදෙනෙක් මාත්‍රාව වැඩි වීමෙන් මිය ගොස් ඇති බව සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය දැනගත් විගස එය නවතා දැමීමට ක්‍රියා කළ බවත් එය කිසිවිටකත් සැළසුම් කරන ලද ක්‍රියාවක් නොවන බවත්ය.

සුනඛයින් සම්බන්ධ මෙම ගැටළුවට යම් පිළියමක් ලබා දීමට ඉඩ තිබු බවත් එවැන්නක් සිදු නොකර සතුන් මරා දැමීම කණගාටුදායක තත්ත්වයක් බවත් එම්බාර්ක් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා ඔටාරා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ උගතුන් බිහිකරන ස්ථානයක සිදු වු මෙම හිංසාකාරී ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අදහස් දක්වමින් කියා සිටියේ අයාලේ යන සුනඛයින් සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් එයට ක්‍රියාමාර්ග ගත යුතුව ඇති අතර සුනඛයින් මරා දැමීම කිසිසේත් අනුමත නොකරන බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 July 2017 22:58