April 19, 2024

දුම්රිය පෙනි පෙනී සිසුවියන් දුම්රිය ගේට්ටුවෙන් පනී

දුම්රිය ධාවනය වනවා දැක දැක වසා තිබූ දුම්රිය ගේට්‌ටුව හරහා යතුරුපැදි දෙකකින් ගමන් කළ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකුට තරයේ අවවාද කළ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය එම දෙදෙනාට රුපියල් 4000 ක රජයේ ගාස්‌තු ගෙවන ලෙස 11 දා නියෝග කළාය. 

කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි මෙම දරුවන් දෙදෙනාගේ පියවරුන්ට හෝ භාරකරුවන්ට එරෙහිව රියදුරු බලපත්‍ර පවා නොමැති දරුවන්ට යතුරුපැදි ලබා දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතාට විනිසුරුවරිය විසින් නියෝග කර ඇත.

තමන් රාජකාරී කටයුත්තකට ගොස්‌ පැමිණ සිටිය දී ශ්‍රී සුමංගල පාරේ දුම්රිය ගේට්‌ටුව වසා තිබූ බවත් දුම්රිය ළඟ ළඟ ධාවනයවන බවට විදුලි සංඥා දල්වමින් තිබිය දී මෙම දරු දෙදෙනා කොළඹ සිට මාතර දක්‌වා ධාවනය වූ සාගරිකා දුම්රිය දැක දැකත් යතුරු පැදිය දුම්රිය ගේට්‌ටුව හරහා ධාවනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලිස්‌ පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම දරුවන් පාසල් සිසුන් හෙයින් දැඩි ලෙස අවවාද කර මුදා හරින ලෙස පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය.මෙහිදී පොලීසිය ඇමතූ විනිසුරුවරිය මෙම දරුවන්ගේ මවුපියන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස පොලීසියට නියෝග කර ඇත.
 

Rate this item
(0 votes)