April 24, 2024

ඩෙවෝන් ඇල්ල කුණු කරන ත්‍රීරෝද රථ කල්ලියක් (PHOTOS)

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවිකරුවන් විසින් ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස ඩෙවෝන් දිය  ඇල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇළට මුදා හැරීමෙන් විශාල පරිසර හානියක් සිදු වී තිබෙන බව වාර්තා වේ.

හැටන් දික්ඔය නගර සභාව මඟින් කැලි කසළ වෙන් කර ලබා ගන්නා අතර ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය නගරයෙන් පිටතට ගොස් වළක් කපා පස් දමා වසන ලෙස මත්ස්‍ය අලෙවිකරුවන්ට කළ දැනුම් දීමකින් පසු මත්ස්‍ය අලෙවිකරුවන් විසින් මෙසේ ඩෙවෝන් ඇළට එම අපද්‍රව්‍ය මුදාහරින බව ප්‍රදේශවාසීන් පවසයි.

දිනපතා රාත්‍රී කාලයේ එම අපද්‍රව්‍ය ත්‍රීරෝද රථ මඟින් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අසලින් ඇළට මුදා හැර ඇති ආකාරයක් දක්නට ලැබූ බවත් මෙසේ එම ඇළට මත්ස්‍ය අපද්‍රව්‍ය මුදා හැරීම නිසා විශාල පරිසර හානියක් මෙන්ම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද හමන බව සඳහන් වේ.

මෙම ඇළේ ගලා බසින ජලය ඩෙවෝන් දිය ඇල්ලට ඉහළින් ඇළ දෙපස පදිංචිකරුවන් විශාල පිරිසක් දෛනික කටයුතු සඳහා ජලය පරිහරණය කරන අතර හැටන් නගරයේ මත්ස්‍ය අලෙවිසැල්වල ඉවතලන මෙවැනි අපද්‍රව්‍ය ප්‍රදේශයෙන් පිටතට ගොස් බැහැර කරන ලෙසට රාත්‍රී කාලයේ හැටන් නගරයේ ධාවනය යෙදෙන ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන්ට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බවත් ප්‍රදේශවාසීන් පවසන බව වැඩිදුරටත් සඳහන් වේ.

 (හැටන් - රංජිත්)

Rate this item
(0 votes)