March 29, 2024

පැවිදි බිමට ගිය මොරටුව උපාධිධාරිණියන් දෙදෙනා දැන් කියන කතාව (PHOTOS)

මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය හා නිපයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි දිවියට පිවිස සිටිති.මෙම තරුණියන් දෙදෙනා මහරගම ධම්මතුසිතා මෙහෙණින් වහන්සේ නමින් හා අතුරිගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුලත්ව සිටිති.

බද්දේගම ගිණිමැල්ලගහ ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා ආරාමයේ දී මෙකී මෙහෙණින් වහන්සේලා දෙනම අපට මුණගැසුණි.මෙහෙණින් වහන්සේලා දෙනම සමඟ දැන උගත් මෙහෙණින් වහන්සේලා හය නමක් භාවනායෝගීව මෙම ආරාමයේ වැඩ වසති.මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේගේ ගිහි කාලයේ ස්වාමිපුරුෂයා ද පැවිදි දිවියට පත්ව සිටිති. උන්වහන්සේද ගිහිකළ මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය හා නිපයුම් ප්‍රවර්ධනය පිළිබද උපාධිධාරියෙකි.

මේ තිදෙනාම ගිහි කළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක රැකියා කොට තිබේ.රැකියාව කරන අවදියේ දී බණ ඇසිමට යොමු වී ධර්ම මාර්ගය ගැන පැහැදී පැවදි දිවියට පිවිස තිබේ.

“අපි දෙන්න කථා කරගෙන තමයි මහණ වෙන්න තින්දු කළේ.ගිහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා.ඔහු මහණ වුණේ මගේ මහණ පිංකමට අවශ්‍ය සියලු දේවල් කරලා.උන්වහන්සේගේ මහණ පිංකමට මමත් සහභාගි වුණා.ඒ වේලාවේ මට හිතුනේ අනේ සාදු කියලා.අපි කොහෙද ඉන්නේ මේ ඉන්නේ අපිට මොනවා දාලා යන්න බැරිව ද ඉන්නේ කියලා හිතුණා.ඇත්තටම අත්හරින්න බැරි දෙයක් නැහැ.මගේ මහණ පිංකමට උන්වහන්සේත් සහභාගී වුණා.තලගුනේ මෙත්තා ධම්මශිලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ.මේ වනවිට මොරටවු විශ්ව විද්‍යාලයේ උපාධිය ලැබු හය දෙනෙක් පැවිදි වෙලා ඉන්නවා. ඒ අය අතර වෛද්‍යවරු ඉංජිනේරුවන්ද ඉන්නවා” යැයි මහරගම ධම්මතුසිතා මෙහෙණින් වහන්සේ අප සමඟ කීහ.ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ තිස් එක් හැවිරිදි වියේ පසුවෙති.

අතුරිගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ ගිහි කළ අකුරු කොට ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි.උසස් පෙළ සමත් වීමෙන් පසු මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුල් වී උපාධිය ලබා ගෙන ඇත.

“මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්.අම්මා විධායක නිලධාරිනියක්.බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු විට ඕනෑම දෙයක් අත් හරින්න පුළුවන්.ඉන්පසු මහණ වෙන්න තින්දු කළා.මෙහෙණින් වහන්සේලාට වනගතව ආරණ්‍යගතව භාවනා කටයුතු කරන්න බැහැ.ආරක්ෂක තැනක ඉන්න ඕන කර්කශක නාගරික පරිසරයෙන් මිදිලා භාවනා කරන්න පුළුවන් ස්ථානයක් හදලා දෙන්න මාලනි දොඩංගොඩ යුවළගේ අරමුණක් තිබුණා.එය අපගෙත් අවශ්‍යතාවයක්.ත්‍රිපිටකට හදාරමින් භාවනා කටයුතු කරන්න ගිහි පිරිසට අප හදාරන දේවල්වලින් මඟ පෙන්විමක් කරන්න කොහොමද?ධර්ම මාර්ගයේ යන්න ජිවිතය කොහොමද ධර්ම මාර්ගය අනුව හැඩ ගස්වා ගන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තියෙන්නේ පොත්වල තබා ගන්න නෙවෙයි.ඒවා කියලා දෙන්න මෙම ආරාමයේ වැඩසටහන් කිහිපයක් කරනවා.සතියේ දිනවල අපි භාවනා යෝගිව මෙම ස්ථානයේ වැඩ ඉන්නවා. ධර්ම දේශනා හා කර්මස්ථාන භාවනා සිදු කරනවා”යැයි අතුරිගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ පැවසුහ.

හිටපු අමාත්‍යවරයකු වු අමරසිරි දොඩංගොඩ මහතාගේ නැගණියක් වන මාලනි දොඩංගොඩ මහත්මිය විසින් තමන් සතු නිවස මෙකී ආරාමය සදහා පරිත්‍යාග කොට ඇත.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 July 2017 16:55