March 29, 2024

වව්නියාවේ සෙට්ටිකුලමේ විරෝධතාවක් (PHOTOS)

වව්නියාව සෙට්ටිකුලම් හා අවට ගම්මානයන් වෙතට දිනපතා වල් අලින් ගම් වැදීම නිසා මේ වන විට වල් අලි ප්‍රහාරයන්ගෙන් දෙදෙනෙකු ඝාතනය වී ඇති බවත් භව භෝග විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති හෙයින් වහාම වල් අලි කරදරයට විසඳුමක් ඉල්ලා අද (28) සෙට්ටිකුලම් හා අවට ගම්මාන කිහිපයක වැසියන් උද්ඝෝෂණයක නිරත වූහ.

වව්නියාව සෙට්ටිකුලම්,මොහට්ටංකුලම්,මණික්ෆාම්,ආඩියා පුලියංකුලම්,ගනේෂපුරම්,පෙරියකුලම් ආදී ගම්මානවලට දිනපතා වල් අලින් පැමිණීම නිසා ගම්මානයන්හි පිහිටි වගාවන් දැඩි ලෙසින් විනාශ වී ඇති අතරම වල් අලින් එලවා දැමීමට උත්සහ ගත් පුද්ගලයින් දෙදෙනෙකු වල් අලි ප්‍රහාරයන්ගෙන් මිය ගොස් ඇති බවද උද්ඝෝෂකයින් කියා සිටියහ.

අදාළ ගම්මානයන් වෙතට වල් අලින්ට ඇතුලු වීමට නොහැකි වන පරිද්දෙන් අලි වැටක් හෝ වල් අලින් පන්නා දැමීමට කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට වනජීවි නිලධාරීන්ට කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නද මේ වන තෙක් විසදුමක් නොලැබීම නිසාවෙන් උද්ඝෝෂණයක් සිදු කිරීමට පියවර ගත් බවට ප්‍රදේශවාසීන් කියා සිටියහ.

සෙට්ටිකුලම් ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ උද්ඝෝෂණය පසුව පාගමනින් සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කල අතර එහි ප්‍රදේශීය ලේකම්වරයා නොසිටීම හේතුවෙන්  ග්‍රාම සේවක ප්‍රධානි ස්වාමිනාදන් ඥානේසවරන් මහතා වෙතට සංදේශයක් බාර දෙනු ලැබිණි.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කොට ඉක්මන් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට ඥානේස්වරන් මහතා උද්ඝෝෂකයින්ට දැනුම් දෙනු ලැබීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)