December 15, 2017

සෙල්ෆි ගන්න ගොස් අයියා මලෝ දුම්රියට බිළි වූ හැටි සියැසින් දුටු මිත්තනිය කී කතාව

''කෝච්චියක්‌ එන බව කියමින් චූටි පුතාට මා කෑ ගැසුවා. ඉන් පසුව චූටි පුතා එකවරම රේල් පාර හරහා පැන නැවතත් අයියා සිටින පැත්තට පැන්නා. එන්න එපා යෑයි කියමින් මල්ලී බේරා ගැනීමට ශෂී පුතා පනිනවාත් සමගම දෙදෙනාම කෝච්චියට හසු වුණා"යෑයි පෙරේදා (11) සවස කොල්ලුපිටිය දුම්රිය මාර්ගයේ සිට ඡායාරූප ගැනීමට යන අතරතුර දුම්රියේ ගැටී මරණයට පත් වූ දෙසොහොයුරන්ගේ අනතුර සියෑසින් දුටු මිත්තනිය වන ප්‍රේමා ගුණවර්ධන මහත්මිය හඬා වැළපෙමින් පැවසුවාය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ, අනුලා දේවි මාවත, විජයපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වූ ශෂී මධුෂාන් රණවීර (24) හා තීක්‍ෂණ ශක්‌ෂාන් රණවීර (12) නමැති දෙසොහොයුරන් ය. හමුදා සේවයේ රාජකාරි කර විශ්‍රාම ලැබූ කෝප්‍රල්වරයකු වූ ප්‍රසන්න ප්‍රියංකර රණවීර (49) හා යුද හමුදාවේ කාන්තා විශ්‍රාමික සෙබළියක වූ ආර්. ඒ. බණ්‌ඩාර මැණිකේ යුවළගේ පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වයස අවුරුදු 12 ක්‌ වූ බාල පුත්‍රයා හා වයස අවුරුදු 24 ක්‌ වූ වැඩිමහල් පුත්‍රයා මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ.

මෙම අනතුරින් ජීවිතක්‍ෂයට පත් වූ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශෂී මධුෂාන් හෝටල් කළමනාකරණ පාඨමාලාවක්‌ හැදෑරීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස්‌ වසර 3 කට පසු පෙරේදා (11) පස්‌වරු 4.30 ට පමණ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ. තම දරුවා සිංගප්පූරුවේ පාඨමාලාවක්‌ හදාරා සහතිකපත් ලබාගෙන වසර 03 ට පසු මෙරටට පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහු කැඳවාගෙන ඒම සඳහා මව, පියා සහෝදරයන් දෙදෙනා, මිත්තණිය ඇතුළු පවුලේ ඥතීන් පිරිසක්‌ එම ගමනට සහභාගී වී තිබේ.

ඔවුන් කටුනායක සිට අධිවේගී මාර්ගයෙන් කොළඹට පැමිණ ගෝල්ෆේස්‌ පිටියේ විනෝදවී කොල්ලුපිටියේ පදිංචිව සිටින පුංචිලාගේ ගෙදර යාම සඳහා පිටත්ව තිබේ. එම අතරතුරේදී දුම්රිය මාර්ගය මුහුදු වෙරළට සමීපයෙන් ගමන් ගන්නා ස්‌ථානයකදී, ඡායාරූප ගැනීම සඳහා වෑන් රථය නතර කරන ලෙස කුඩා පුතු වන 12 හැවිරිදි තීක්‍ෂණ, පියා ඇතුළු පිරිසට ඇවිටිලි කළ බව පවුලේ ඥතීහු සඳහන් කළහ.

මෙම ගමනට සහභාගී වී අනතුර සිදුවන අවස්‌ථාවේ එම දරුවන් ළඟ සිටිමින් කම්පනයට පත්ව සිටින මියගිය දරුවන්ගේ මිත්තණිය වන ඩබ්. ප්‍රේමා ගුණවර්ධන (68) මහ්තමිය හඬා වැළපෙමින් මෙසේ පැවසුවාය.

"පොඩි පුතාගේ බලපෑමට තමයි ෆොටෝ ගහන්න කියලා වාහනය නතර කළේ. ඒත් අපි කැමැති වුණේ නැහැ. පසුව වාහනයෙන් බැස ගොස්‌ මුහුදු වෙරළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ අයියයි මල්ලියි ෆොටෝ ගත්තා. මමත් එම ස්‌ථානයට බැස ගියා. එවිට වේලාව 5.45 ට පමණ ඇති. මම දුටුවා විදුලි ලාම්පු දල්වාගෙන දුම්රියක්‌ පැමිණෙනවා. මුහුදේ ඝෝෂාව නිසා එම ස්‌ථානයේ දුම්රියක්‌ ළඟට එන තෙක්‌ ශබ්ද ඇසෙන්නේ නැහැ.

පොඩි පුතාට එක්‌වරම කෝච්චියක්‌ එන බව කියමින් මා කෑ ගැසුවා. ඉන්පසු චූටි පුතා එක්‌වරම රේල් පාර හරහා පැන නැවතත් අයියා සිටින පැත්තට පැන්නා. එන්න එපා යෑයි කියමින් මල්ලී බේරා ගැනීමට ශෂී පුතා පනිනවාත් සමගම දෙදෙනා කෝච්චියට හසු වුණා.
ඉන්පසු දරු දෙදෙනා එම ස්‌ථානයේ බිම වැටී සිටියා. ටික වේලාවක්‌ යනකල් කිසිවකුත් ඉදිරිපත් වුණේ නෑ එයාලාව රෝහල්ගත කරන්න. ලොකු පුතාගේ කකුලක්‌ වෙන් වී තිබුණා. එම කකුල මම උස්‌සා ත්‍රිරෝද රථයකට දැම්මා. ආච්චි කෙනකුට මේවා දරාගන්න පුළුවන් ද. චූටි පුතා දෙස බලනකොට හිස කොටස තිබුණේ නෑ. අම්මයි තාත්තයි දරුවෝ දෙන්නා දිහා බලමින් විලාප තියෙනවා. අනේ මගේ දරු පැටව් දෙන්නා. මා මුලින්ම හිතුවේ කම්පනයට වැටිලා ඉන්නවා කියා. සහතික අරන් ආපු මගේ සුදු පුතා ඒවා පෙන්නන්නේ නැතුවම අපිව දාලා ගියේ ඇයි දැයි" හඬා වැළපෙමින් සිහිසුන් විය.

-දිවයින-

Rate this item
(1 Vote)