April 20, 2024

ශක්තිමත් ගැහැණුන්ගේ හෘදස්පන්දනය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි - Wonder Woman

අපි පොඩි කාලේ ඉඳලම හරිම ආසයි අපිට ලඟාකරගන්න බැරි සමහර දේවල් ඉබේටම වගේ අපිට පහළ වෙනවනම්. ඒ විතරක් නෙවෙයි නපුරු මිනිස්සුන්ට නරකක් වෙනවනම්. හිතල තියනව නේද ඒ වගේ මිනිස්සුන්ට ගහන්න, ඒ අයව ඈත් කරලා තනිකරන්න. එත් අපි ටිකෙන් ටික ලොකු වෙද්දී අපිට තේරෙනවා අපි හිතන් ඉන්න විදියට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒ වගේ හදපු ෆිල්ම් බලනවා, ටෙලි නාට්‍ය බලනවා. එතැනදී වීරයා ආදේශ වෙනවා තමන්ට, සතුරා වෙන්නේ අපේ හිතේ හැමදාම ඉන්න, අපිට පේන්න බැරි චරිතයක්.

ඉතින් කොල්ලොන්ට නම් ආදේශ කරගෙන රස විඳින්න අපුරු චරිත ආවා. Super Man, Spider Man, X Man, Hulk, Bat man වගේ චරිත පොඩි කාලේ වගේම හැමදාටම රස විඳින්න පුළුවන් චරිත වුණා. ඒ කාටුන් චිත්‍රපට එකතුව සිනමාවට ගෙන ඒම පසුගිය කාලේ දිගටම සිදු වුණා. ඉන්පසු දිග හැරුණු Teen wolf, Arrow, Twilight, Flash වගේ කතා මාලාවන් නිකුත් වුණා. නමුත් මේ සියල්ලගේම වීරයා පිරිමියෙක්. මේ වගේ පිරිමි චරිත අතරට ආවා “ වෝන්ඩර් වුමන් ” ( Wonder Woman ) කියලා චරිතයක්. ඇය ගැහැණියක්. ඉතින් ගැහැණියකගේ වික්‍රමයන් එක්ක  හැබෑ ජීවිතේ වීරවරියන් වෙන්න බැරි වුණු හිත්වලට අලුත් ඉරක් පායනවා. පසුගිය දෙවැනිදා මේ වෝන්ඩර් වුමන් රිදී තිරයට එන්නේ අලුත් වික්‍රමයන් රැසක් අරගෙන.

වොන්ඩර් වුමන් කියල කියන්නේ වසර 5000ක පමණ කාලයක් ඇමසන්හි කුමාරිකාව ලෙසින් වෙසෙන හිපොලිතා සහ සියුස් දෙපළගේ දියණියට. ඇය අතිශය ශක්තිවන්ත හා විශාල බලයක් හිමි කාන්තාවක්. බුද්ධිමත් සේම දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ඇය තම අරමුණ කරා නොවෙනස්ව ගමන් කරන චරිතයක්.

මෙහි ප්‍රධාන රංගන ශිල්පිනිය වෙන්නේ ගාල් ගඩොට් ( Gal Gadot ). ඇය හැබෑ ජිවිතයේ දීත් ශක්තිමත් කාන්තාවක් ලෙසයි දැනගන්නට ලැබෙන්නේ. මෙහි ඇය කරනු ලබන රඟපෑම කෙතරම් ප්‍රබලද කියනවනම්, පළමුවැනි සතියෙම මෙම සිනමා පටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා තිබුණා.

ජුනි දෙවැනිදා ඉඳලා ලෝකය පුරාම මේ සිනමා පටය තිරගත වෙන්න යෙදිලා තිබුණා, එත් හිටි හැටියේම ලේබනනයේ මෙම සිනමා පටය තහනමට ලක් වුණා. පස්සේ හොයල බලද්දී තමයි හරිම සිදුවීම සොයාගෙන තිබුණේ.

වොන්ඩර් වුමන් ලෙසින් චරිත මවන ගාල් ගැඩොට් මීට පෙර ඊශ්‍රායල් හමුදාවේ සෙබළියක වීම තමයි මේ තහනමට හෙතුව වුණේ.. විස්තර අනුව නම් ඇය සැබෑ ජීවිතයේදීත් වොන්ඩර් වුමන් කෙනෙක්. හමුදා සේවයෙන් පසු මිස් ඊශ්‍රායල් තරගයෙන් ජය ලබා නිරූපණ ක්ෂේත්‍රයට ඇතුළත් වී අනතුරුව රංගනයට පිවිසි ගැඩොට් චිත්‍රපට කිහිපයක් ඇතුළුව චිත්‍රපට හා රූපවාහිනි කතාමාලා රැසකට දායක වෙලා තිබුණා ඒ වෙද්දීත්.

මෙය මිනිත්තු 141ක් පුරා දිවෙන සිනමා පටයක්. මෙය ඩොලර් මිලියන 149ක් වැයකරමින් තනපු සිනමාපටයක්. මෙහි ගඩොට්ගේ සිනමා රංගනය බොහෝ විචාරකයන් අගය කරනවා විතරක් නෙවෙයි, පිරිමි වීර චරිත එක්ක හැප්පෙන්න මේ ගැහැණු චරිතයට ඕනෑවටත් වඩා හයියක් ඇති බව ඔවුන් පවසනවා.

ඉතින් මේ සිනමාපටය එක හුස්මට නරඹන්න පුළුවන් කියල තමයි නරඹපූ සියල්ලන්ගේම මතය වෙන්නේ. ඉතින් කාන්තාවන්ට නම් මෙය අපුරු අත්දැකීමක් වේවි. ඒ විතරක් නෙවෙයි, මේ සිනමා පටය තුළ ඔබට අවශ්‍ය, නමුත් ඔබට විය නොහැකි වූ වෝන්ඩර් වුමන් සොයාගැනීම අපහසු වෙන එකක් නැහැ.

 

Rate this item
(0 votes)