April 19, 2024

ලංකාවේ දක්ෂතම යතුරු පැදි ශූරයා දිවියෙන් සමුගනී

ආනන්ද වෙඩිසිංහ කියන්නේ ලංකාවේ යතුරුපැදි තරඟවල අනිවාර්ය සාමාජිකයෙක්.

ඒ වගේම ඔහු ඉතා දක්ෂ යතුරුපැදි ධාවන ශූරයෙක්, ගුරුවරයෙක්.

මේ වසරේ නුවර එළියේ පවත්වන ලද ( අප්‍රේල් 24) සුපර් මෝටර්ඩ් ( සිලින්ඩර් ධාරිතාව 450 ) තරඟයේදී සුරාජ් පෙරේරාගේ යතුරු පැදිය හා ආනන්ද ගේ යතුරු පැදියේ හැඬල එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.

ඔහු ඊයේ ( 29 සවස ) මහනුවර මහ රෝහලේදී මියයන විට ඔහු 47 වැනි වියේ පසුවූ සිවුරු පියෙක් බව වාර්තා වෙනවා.

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 24 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වුණා.

නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසෙනවා.

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබෙනවා. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ක්‍රීඩකයෙක් ලෙස ආනන්ද වෙඩිසිංහ හැදින්විය හැකි අතර පසුගියදා පැවති නරියාකන්ද තරගාවලියේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ නාඩි වැටෙන තුරු රේස් පදින බවයි. පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රෙස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනිමින් වාර්තාවක්ද පිහිටවූ වෙඩිසිංහ, කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද හිමිකම් කියා තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම වෙඩිසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් කළ උපකාර පිළිබඳව විමසීමකදී ප්‍රවීණ මෝටර් රථ රියැදුරකු මෙන්ම ප්‍රවීන මෝටර් රථ තරග සංවිධායකයකුද මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ පවසා තිබුණා.

“වෙඩිසිංහ කියන්නේ හරිම හොඳ පුද්ගලයෙක්. යුද්දෙ කාලෙදී රණවිරුවන්ට ප්‍රතිකාර කරන්න ඕන වෙන ගිලන් රථ කිහිපයක්ම වෙඩිසිංහ හමුදාවට පරිත්‍යාග කළා.... ඒ විතරක් නෙමෙයි ආබාධ වලට ලක්වෙච්ච රණවිරුවන්ට රෝද පුටු, පාපැදි වගේ දේවලුත් එයා පරිත්‍යාග කරලා තියෙනවා.”

“එයාට වඩා සල්ලි තියෙන අය ඕන තරම් ලංකාවේ රේස් පැද්දා. ඒත් එයා තරම් වෙන කවුරුවත් ශ්‍රී ලංකාවේ රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරලා නෑ” යැයිද ගම්මන්පිල මහතා පැවසුවා.

වෙඩිසිංහ අනතුරට ලක්වූ නුවරඑළිය තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ තරගකරුවන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර මින් පෙරද මෙම තරගාවලිය පැවැති අවස්ථා දෙකකදී යතුරුපැදි ක්‍රීඩක රංජිත් ධනපාල සහ මෝටර් රථ රියැදුරු ඩිල්ෂාන් බණ්ඩාරනායකද දරුණු අනතුරු වලට මුහුණපා ජීවතක්ෂයට පත්ව තිබෙනවා.

මෙවැනි අනතුරු මින් ඉදිරියට හෝ සිදු නොවීමට බලධරයන්ගේ ඇස් ඇරේවායි ප්‍රර්ථනා කරමු.

Rate this item
(0 votes)