March 28, 2024

සමලිංගික විවාහවල හොඳ කාලේ ආසියාවටත්

සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරනවා.

එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇති බවයි පැවසෙන්නේ.

තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවයි.

එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් මෙම අධිකරණ තීරණය අනුව නව නීති සම්පාදනයට හෝ පවතින නීති වෙනස් කිරීම සඳහා තායිවානයේ පාර්ලිමේන්තුව කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න තවමත් පැහැදිලි නැති බව එරට දේශපාලන විශ්ලේෂිකා සින්ඩි සුයි පවසනවා.

සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරනවා.

වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසනවා.

 පසුගිය දා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ  දඬුවම් ලබා දෙමින් තිබියදී තායිවානය මේ නීති ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තියෙන්නේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබෙනවා.

එමෙන්ම ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙකු බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පසුගිය දා වාර්තා වුණා. අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරට පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

Rate this item
(1 Vote)