April 19, 2024

ලිබියානු ප්‍රහාරයෙන් 140ක් මරණයට

ලිබියාවේ ගුවන් හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 140ක් පමණ විය හැකි බව නව වාර්තා සඳහන් කරනවා.මීට පෙර වාර්තා වී තිබුණේ ලිබියානු ආණ්ඩුවට සහයෝගය දෙන සන්නද්ධ කණ්ඩායමක් එල්ලකළ එම ප්‍රහාරයෙන් හැටදෙනෙකු පමණ මරණයට පත්වන්නට ඇති බවය. පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 18) මෙම ප්‍රහාරය සිදු කෙරුණේ 'බ්‍රැක් අල් ශාටි' ගුවන් හමුදා කඳවුර අත්පත් කර ගැනීමට .ලිබියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරය දියත් කරන ලෙස නියෝගයක් නිකුත් කර නොමැති බවය.සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ අතිරේක සන්නද්ධ කණ්ඩායමේ අණදෙන නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ. ප්‍රහාරයට සම්බන්ධ වූ සන්නද්ධ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කඳවුර නිදහස් කරගත් අතර ඒ තුළ සිටි සියලු බලකායන් විනාශ කර දැමූ බවය.කඳවුර තුළ තිබූ ඇතැම් ගුවන් යානාවලට ගිනිතබා ඇති බව එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය. මිය ගිය අයගෙන් බහුතරය 'ලිබියානු ජාතික හමුදාව' (LNA) නමින් ප්‍රකාශයට පත්කර තිබෙන බලඇණියේ සොල්දාදුවන් ය. ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මකවන 'ලිබියානු ජාතික හමුදාව', ලිබියානු රජයට එරෙහි හමුදාවක්.පසුගිය දෙසැම්බරයේ පටන් 'බ්‍රැක් අල් ශාටි' ගුවන් හමුදා කඳවුර පාලනය කරනු ලැබුනේ මෙම හමුදාව විසින්. 'ලිබියානු ජාතික හමුදාව' නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් 140 දෙනෙකු පමණ මිය ගිය බවය. "මේ සොල්දාදුවන් හමුදා පෙරෙට්ටුවකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියේ. ඔවුන් අතේ ආයුධ තිබුණේ නැහැ. ඔවුන් බොහෝ දෙනෙකුට වෙඩි තබා මරා දැමුවා." යනුවෙන් එම ප්‍රකාශකයා පැවසුවා.
Rate this item
(2 votes)