April 20, 2024

උපන්දින පාටියේ තරුණයින් දෙපිරිසක් වීදුරු බෝතල් 500කින් ඇණකොටා ගනී

යාපනය, වඩමාරච්චි තුන්නාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර පෙරේදා (22) ඇති වූ ගැටුමකදී පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

තුන්නාලෙයි මංසන්ධියක තරුණයින් පිරිසක් එක් තරුණයෙකුගේ උපන්දිනයක් සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී තවත් තරුණයින් පිරිසක් එම ස්ථානයට පැමිණ සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී තිබෙන බවට පරික්ෂණ වලින් හෙලි වී ඇත.

අදාල ගැටුම සිදුවන අවස්ථාවේදී තරුණයින් දෙපිරිස වීදුරු කැබලි, ගල් හා වීදුරු බෝතල් 500 ක් පමණ උපයෝගි කරගනිමින් පහර දී ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පැවසී ය.

මෙම ගැටුමේදී පහරදුන් වීදුරු කැබලි හා වීදුරු බෝතල් කුඩු වීම නිසා තුන්නාලෙයි මංසන්දිය ප්‍රදේශයේ ගමනාගමන කටයුතු වලටද බාධා සිදු වී ඇති අතර ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව අදාල වීදුරු කුඩු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පහරදී ගනු ලැබූ තරුණයින් දෙපාර්ශවයේම තරුණයින් තුවාල ලබා ඇති බැවින් මේ වන තුරු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම අවහ්‍ය ප්‍රශ්න කිරීම් සිදුකරන බවද නෙල්ලියඩි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

 

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)