March 29, 2024

ඉන්දියාව පේන තෙක් මානයට යන තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ කතාව (PHOTOS) 

ඉන්දීය රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය සිට තලෙයි මන්නාරම දක්‌වා වූ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.  

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය පසුකළ විට සැතපුම් 15ක්‌ දුරින් හමුවන මංසන්ධියක් වන මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් වමට හැරී තලෙයි මන්නාරම දක්වා මෙම දුම්රිය මාර්ගය ගමන් කරයි. මැදවච්චියේ සිට තලෙයි මන්නාරමට දුර කිලෝ මීටර් 106කි. 

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරවා හැරීමෙන් පසුව තලෙයි මන්නාරම දක්‌වා වූ දුම්රිය ධාවන කටයුතු  නතර විණි.  

තලෙයි මන්නාරම දක්වා ඉදිකිරීම් අවසන්වීමෙන් පසු මේ දුම්රිය මාර්ගයේ පැයට කි.මී. 120ක වේගයෙන් දුම්රිය ගමන් කිරීමට සැලසුම් කර ඇත. නව තාක්‌ෂණික දුම්රිය සංඥා හා මෙහෙයුම් පද්ධතියක්‌ ස්ථාපිත කොට ඇත.  

ඉන්දියන් රජයේ ආධාර ඇතිව 2011.03.29 දින ආරම්භ කරන ලද මෙම දුම්රිය මාර්ගයේ නැවත ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වී ඇත.

කිලෝමිටර් 63 ක් දිග මඩු සිට තලෙයිමන්නාරම දුම්රිය මාර්ග කොටස, ප්‍රධාන දුම්රිය ස්ථාන 6 ක් හා උප දුම්රිය ස්ථාන 3 කින් සමන්විත වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 149.7 ක් වෙන්කර ඇත. 

1914 වසරේ මැදවච්චියේ සිට තලෙයි මන්නාරම් තොට දක්වා දුම්රිය මඟ ඉදිකිරීමේ ප්‍රධානම අරමුණ වූයේ ඉන්දියාවෙන් තලෙයි මන්නාරමට ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ කොළඹට ප්‍රවාහනය කිරීමයි. ඒ හා සමානවම මඟී දුම්රිය සේවා ද ක්‍රියාත්මක විය. 1914 සිට 1985 ජුලි මාසය වන තෙක් වසර 70 ක් ඒ මාර්ගයේ දුම්රිය ධාවනය කිසිදු ගැටලුවකින් තොරව සිදුවිය.

1983 ඇතිවූ ජාතිවාදී කලබලවල ප්‍රතිඵලයක් ලෙසින් මැදවච්චිය තලෙයි මන්නාරම අතර දුම්රිය ප්‍රවාහන සේවා මුල්වරට බිඳ වැටුණි. 1985 සිට 1987 දක්වා වසර දෙකක කාලයක් මේ මාර්ගයේ දුම්රිය ධාවනය නොවීය. 

1985 ජුලි මස 07 වැනිදා තලෙයි මන්නාරමේ සිට කොළඹ බලා ගමන්ගත් දුම්රියෙන් පසු දුම්රිය ධාවනය ඇන හිටියේය. ජේ. ආර්. - රජිව් සාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසු යළිත් තලෙයි මන්නාරම හා කොළඹ අතර දුම්රිය සේවය අරඹන ලදි. ඒ අනුව 1987 - 1989 කාලයේදී යළිත් තලෙයි මන්නාරම් මාර්ගය විවෘත විය.

යුද්ධය උත්සන්න වීමෙන් පසු 1989 න් පසු මේ මාර්ගයේ දුම්රිය ධාවනය යළිත් නවතා දැමිණි.

තලෙයිමන්නාරම ජැටිය සහ දුම්රිය ස්ථානය මෙරට මන්නාරම් දූපතේ තලෙයිමන්නාරමේ වයඹ දිග වෙරළට වන්නට ඉදිකොට තිබෙයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මකව පැවැති දුම්රිය පාරු සේවයෙහි මෙරට ප්‍රධාන නැවතුම්පළ ලෙස ක්‍රියාකරන ලද්දේ මෙම ජැටිය හා දුම්රිය ස්ථානය වෙයි.

දුම්රිය මාර්ග ද්විත්වයකට සේවය සැපයීම සඳහා ඉදිකොට ඇති ජැටිය, ප්‍රධාන භූමියේ සිට සාගරය තුලට (උතුරු දිශාව දෙසට) මීටර 264 ක දිගකින් යුක්තව ඉදිකොට තිබෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 23:07