April 20, 2024

ඔබාමාගේ 'මෘගයාට' නොදෙවෙනි මෝදිගේ නිළ රථය මෙන්න (VIDEO) 

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (13) පැමිණීමට නියමිතය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ආරාධනයක් අනුව මෙරටට පැමිණෙන මෝදිගේ මෙම සංචාරය ඉන්දීය අගමැතිවරයකු වසර 27 කට පසු නිල රාජ්‍ය සංචාරයකට මෙරටට එන ප්‍රථම අවස්ථාව වේ.

එම සංචාරයට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිල රථය ගැන අප අවධානය යොමු කළේය. ඇමෙරිකානු ජනපතිවරයාට මෙන්ම ඉන්දීය අගමැතිවරයාටද සංචාරය කිරීමේදී හා නිල ගමන් යාමේදී සුවිශේෂී නිල රථයක් භාවිතයට ගනී. 

ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා ආරක්ෂක උපක්‍රම අතර බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඔහුගේ කැඩිලැක් වන් මෝටර් රථය වෙතය. එහි සියලුම අංගයන් සැකසී ඇත්තේ ඇමෙරිකානු ජනපතිවරයාගේ ආරක්ෂාව පිණිසමය. ඔබාමාගේ ආරක්ෂකයන් “මෘගයා” යන අරුත් දෙන බිස්ට් යන අන්වර්ථ නාමයෙන් එම රථය හදුන්වයි.

ඔබාමා ඔහුගේ කැඩිලැක් වන් රථයෙන් යද්දී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරන බීඑම්ඩබ්ලිව් 7 මෝටර් රථය ගැනද සොයා බැලීම වටී.

760 Li මෝදිගේ රථය එන්ජින් ධාරිතාව 544 hp ක් වන කාරයකි. පෙට්‍රල් ලීටරයකින් කි.මී. 4.5 - 7.46ක් ධාවනය කළ හැකි එහි වේගය 0 සිට පැ.කි.මී. 100 දක්වා නැංවීමට ගත වෙන්නේ තත්.6.1ක කාලයකි. පැයට කි.මී. 210ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඊට ඇත. එහි මිල රු. කෝටි 5ක් පමණ වෙතැයි වාර්තා වේ.

මෙම  BMW 7 රථයද සතුරු ප්‍රහාර වලට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇත. එය සම්පූර්ණයෙන්ම VR7ශ්‍රේණියේ තහඩුවලින් නිමවා ඇත්තේ බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් අභ්‍යන්තරයට හානි නොවනු පිණිසය. එහි කොටස් සඳහා යොදාගෙන ඇත්තේ උසස් තත්ත්වයේ VR9 ශ්‍රේණියේ ද්‍රව්‍යයයි. බිම් බෝම්බ වැනි ප්‍රහාරවලින් බේරෙනු පිණිස වාහනයේ යට කොටස යුද්ධ ටැංකිවල මෙන් තහඩු වලින් ආවරණය කර ඇත. ඉන්ධන ටැංකිය කිසි විටෙක පුපුරා යා නොහැකි ලෙස ස්වයංක්‍රීයවම මුද්‍රා තැබේ.

ගෑස් හෝ විෂ වායු ප්‍රහාරයකදී මෝදිගේ රියේ අභ්‍යන්තරය ආරක්ෂිත කුටීරයක් බවට නිතැතින්ම පත්වේ. එවන් හදිසියකදී භාවිතයට ගත හැකි ඔක්සිජන් ටැංකියක්ද එය සතුය. බෝම්බ හා මිසයිල වැනි ප්‍රහාරවලට පෙර දැනගත හැකි හොඳ තාප සංවේදක පද්ධතියක්, ගිනි නිවන උපක්‍රම, හදිසි පිටවීමේ දොරටු හා වෙඩි නොවදින වීදුරු ජනේල ආදියෙන් මෝදිගේ රථය සමන්විතය. මෙම රථයේද ටයර්වලට හානි වුවහොත් කිලෝමීටර් කිහිපයක් නොනවත්වා ධාවනය කිරීමේ හැකියාව ඇත.

ඔබාමාගේ රියට වඩා මෝදිගේ රිය බරින් අඩුවුවත් එය හැසිරවීමේ පහසුව ඉතා ඉහළ බව කියනු ලැබේ. එහෙත් ඔබාමාගේ කැඩිලැක් රියේ ප්‍රවර්තන ශක්තිය ඉහළය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 13:17